මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වී-පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වී-පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ අනුව, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසු මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර, මෙහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව ඔහුට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 61ක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මොහොමඩ් මුයිසුගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉදිරියේදි දෙරට අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කෙරෙනු ඇති බවටද විශ්වාසය පළ කර තිබෙනවා.
දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ විවිධාංගීකරණය කිරීමට ඇති ක්‍රම පිළිබඳව නායක දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව සංචාරක ප්‍රවර්ධනය, අධ්‍යාපන සහයෝගීතාව, තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රය, ඉන්දියානු සාගර කලාපයේ ධීවර කර්මාන්තය ආශ්‍රිත දෙරට මුහුණ දෙන අභියෝග, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය, ආරක්ෂක පුහුණු කිරීම් සහ ආරක්ෂක අංශයේ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
