යේමනයේ ඉරාන සහාය ලබන හුති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රතු මුහුද සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ආරක්ෂක අවදානම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අවධානය යොමුව තිබේ. මෙම උපායමාර්ගික නාවික මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අරාබි රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සූදානමින් සිටින බව වාර්තා වේ.

ලෙබනන පුවත්පතක් උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා වී ඇති අතර, හුති කැරලිකරුවන්ගේ බලපෑම ව්‍යාප්ත වීම ගෝලීය වෙළෙඳාමට සහ බලශක්ති සැපයුම් මාර්ගවලට බරපතළ තර්ජනයක් විය හැකි බව ඊශ්‍රායල නිලධාරීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට කැරලිකරුවන්ට හැකි වුවහොත්, එය හෝමුස් සමුද්‍ර සන්ධියටත් වඩා බරපතළ තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

ඊශ්‍රායල හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් එයල් සමාර් ද මෑතකදී හුති කැරලිකරුවන් සහ ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. තම රටේ පැවැත්මට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමකට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර මෙවැනි ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත. කලාපීය ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version