අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී විසින් ගායනා කරන ලද සහ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද ගීත වාණිජ පරමාර්ථයෙන් නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ නීතිඥ සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ ගීත ‘කවර් වර්ෂන්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම, උපහාර ප්‍රසංගවලදී වාණිජ අරමුණින් ගායනා කිරීම සහ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

මෙම තීරණය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මෙන්ම, ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ Cey Music වැනි සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසිවලට අනුකූලව ගෙන ඇති බව නීතිඥ සමාගම පෙන්වා දෙයි. මීට පෙර අධිකරණ තීන්දු මගින්ද මෙම ගීතවල බුද්ධිමය දේපළ සහ වාණිජ අයිතීන් තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, පාසල්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිදුකරන වාණිජ නොවන අධ්‍යාපනික ගායනා සඳහා හෝ ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන ආධුනික ගායනා තරග වැනි වාණිජ නොවන කටයුතු සඳහා මෙම තහනම අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ සිවිල් සහ අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් ලබාදී ඇති බවද නීතිඥ සමාගම අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version