වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 111 දෙනෙකු සඳහා කෝට්ටේ, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක ලබා දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය තහවුරු කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා මේ බව සඳහන් කර තිබේ. මෙම නිවාස ලබා දී ඇති පිරිස අතරට අමාත්‍යවරුන් 04 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනෙකු සහ මන්ත්‍රීවරුන් 98 දෙනෙකු ඇතුළත් වේ.
මෙම නිවාස සඳහා අදාළ මන්ත්‍රීවරුන්ගෙන් අය කරනු ලබන මාසික කුලිය රුපියල් 2000ක ඉතා සුළු මුදලකි. දැනට කිසිදු මන්ත්‍රීවරයෙකු වෙතින් අය විය යුතු හිඟ කුලී මුදල් නොමැති බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, මෙම නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සඳහා වෙනම කුලී නිවාස දීමනාවක් ලබා නොදෙන බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පෙන්වා දෙයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ද මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටිති.
