හම්බන්තොට වරායේ රඳවා තිබූ ආනයනික සුඛෝපභෝගී වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් අතර වරායේ සේවය කරන සේවකයෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන බව පොලිසිය පවසයි. වරාය පරිශ්‍රයේ තිබූ වාහනවලින් ස්මාර්ට් යතුරු අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ සේවකයා අත්අඩංගුවට ගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ පමණක් ස්මාර්ට් යතුරු 45ක් පමණ සොරකම් කර ඇති බවයි. එම යතුරු අලෙවි කිරීමෙන් සැකකරු රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සොරකම් කරන ලද යතුරු එක් යතුරක් රුපියල් 6,000ක අවම මිලකට කුරුණෑගල ව්‍යාපාරිකයා වෙත අලෙවි කර තිබේ. සැකකරු ලබාදුන් තොරතුරු මත ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී සොරකම් කළ යතුරු තොගයක්ද සොයාගෙන ඇත.

මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වී ඇති බවට සැක පළ කෙරේ. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version