උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම සඳහා රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ජනතාවට සෘජු ප්‍රතිලාභ සැලසෙන ඵලදායී ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදී, රාජ්‍ය ආයතනවල පවතින සේවක හිඟය සහ පරිපාලන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. විධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හරහා දක්ෂතා මත පදනම්ව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත්, දේශපාලන හිතවතුන්ට රැකියා ලබාදීමේ අවිධිමත් ක්‍රමවලින් බැහැර වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පළාත් පාලන ආයතනවල මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පසුගිය වසර දෙක තුළ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ශක්තිය පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ලදී. එම ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි වසරේදී මූල්‍ය ප්‍රතිපාදන තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ඇතැම් ප්‍රාදේශීය සභා නගර සභා බවට උසස් කිරීම සහ නව ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනා ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. එවැනි යෝජනා ඉදිරිපත් කිරීමේදී අදාළ ආයතනවල අනාගත මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීමේ වැදගත්කම නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. වර්තමාන සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පළාත් පාලන නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ සකස් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා, අමාත්‍ය ඊ. චන්ද්‍රසේකර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ පළාත් පාලන ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version