ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 වසරේ මුල් මාස හත තුළ රජයේ අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ. පසුගිය වසරේ එම කාලසීමාව තුළ මෙම අගය රුපියල් බිලියන 556.1ක් ලෙස සටහන්ව තිබුණි.
මෙම කාලය තුළ රජයේ ආදායම සහ අනුදාන රුපියල් බිලියන 3,421.3ක් දක්වා සියයට 25.1ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එමෙන්ම රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් සියයට 7.3කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,531.0ක් ලෙස වාර්තා වේ.
විදේශීය අංශයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මහ බැංකුව පෙන්වා දෙන්නේ, 2026 අගෝස්තු මස අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. මෙයට චීන මහ බැංකුව සමඟ පවතින විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වේ.
එමෙන්ම, විදේශගත ශ්‍රමික ප්‍රේෂණ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එම අගය ඩොලර් මිලියන 680.8ක් ලෙස වාර්තා විය.
කෙසේ වෙතත්, ගෝලීය තත්ත්වයන් මත බොරතෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්හි පවතින අවදානම් පිළිබඳවද මහ බැංකුව අවධානය යොමු කර ඇත. සැප්තැම්බර් මස මුල් සතිය වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබීම ආර්ථිකයට බලපෑම් කළ හැකි සාධකයක් බව පෙනේ.
