රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සතු වසර 50කට වඩා පැරණි යන්ත්‍ර සූත්‍ර ඉවත් කර, ඒ වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙම සංස්ථාව මගින් පාසල් පෙළපොත්, විභාග ප්‍රශ්න පත්‍ර, ලොතරැයි පත් සහ රහස්‍ය ලේඛන ඇතුළු වැදගත් මුද්‍රණ කටයුතු රැසක් සිදු කෙරේ. දැනට ස්ථිර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 21 දෙනෙකු මෙම ආයතනයේ සේවය කරති.

මුද්‍රණ කටයුතු සඳහා රජය දරන පිරිවැය අවම කිරීම සහ රජයට ආදායම් උත්පාදනය කිරීම මෙම සංස්ථාවේ ප්‍රධාන අරමුණයි. මීට අමතරව, වෙළඳපොළ මිල සහ ප්‍රමිතීන් පාලනය කිරීමේ වගකීමද මෙම ආයතනය සතු වේ.

ඕනෑම ආයතනයකට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිය මුද්‍රණ සේවාවන් ලබාගත හැකි බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය. සංස්ථාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ අවධානයක් බව ඇය පෙන්වා දුන්නාය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version