පිරිමි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම වෘත්තීය දිවියට හිමිකම් දැරූ ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්ත සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව අභිබවා යාමට සිම්බාබ්වේ කඩුලු රකින පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් සමත්ව තිබේ.
ටේලර්ගේ එක්දින ක්‍රිකට් දිවිය මේ වන විට වසර 22යි දින 148ක් දක්වා දීර්ඝ වී ඇති අතර, ඒ අනුව සචින් ටෙන්ඩුල්කාර් සතු වසර 22යි දින 91ක වාර්තාව බිඳ වැටී ඇත. සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව අතර හරාරේහිදී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයට එක්වීමත් සමඟ ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
40 හැවිරිදි වියේ පසුවන බ්‍රෙන්ඩන් ටේලර් 2004 වසරේදී සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබාදුන් ඔහු, එම කණ්ඩායම සතු එක්දින ශතක 11ක වාර්තාවටද හිමිකම් කියයි.
මීට පෙර මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවූ සචින් ටෙන්ඩුල්කාර් මේ වන විට දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වසර 21යි දින 184ක වෘත්තීය දිවියක් සමඟ තෙවැනි ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත්, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් සහ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස සචින් ටෙන්ඩුල්කාර් තවදුරටත් එම වාර්තාවන්හි අයිතිකරු ලෙස කටයුතු කරයි.
