තාක්ෂණය ආනයනය කර පරිභෝජනය කරන රටක සිට ලොවට නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදන රටක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික විද්‍යා පදනමේ 2026 විද්‍යා ජනප්‍රියකරණ සම්මාන උළෙලට එක්වෙමිනි.
මෙවර සම්මාන උළෙල “ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා කෘත්‍රිම බුද්ධිය (AI)” යන තේමාව යටතේ පැවැත්විණි. එහිදී විද්‍යාව ජනප්‍රිය කිරීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් සිසුන්, ගුරුවරුන්, විද්‍යාඥයින් සහ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරිණි.
වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් සමාජයේ යහපත උදෙසා වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බවයි. සයිබර් ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය සහ වැරදි තොරතුරු ව්‍යාප්ත වීම වැනි අභියෝග හමුවේ වුවද, තාක්ෂණික නවෝත්පාදනයන් හරහා රටේ ආර්ථිකය දියුණු කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.
රජයේ “සෞභාග්‍යමත් දේශයක් – අලංකාරවත් ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, ශ්‍රී ලංකාව දැනුම සහ නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් කරා ගෙන යාමට පියවර ගෙන ඇත. ඒ සඳහා ජාතික කෘත්‍රිම බුද්ධි සහ ඩිජිටල් පරිවර්තන රාමුව ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල තාක්ෂණික ප්‍රමිතීන් ස්ථාපිත කරමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවලින් බිහිවන නවෝත්පාදනයන් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දීමේ වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කළාය. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්‍යාඥයින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ.
