ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී උපායමාර්ගික රාමුව වැඩිදියුණු කිරීම සහ පවතින ආරක්ෂක යාන්ත්‍රණයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් දින තුනක විශේෂ උපදේශන සැසියක් කොළඹදී පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය (CTED) සමඟ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්, විවිධ රටවල තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් 44 දෙනෙකු සහභාගී වූහ. ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපායමාර්ග තවදුරටත් යාවත්කාලීන කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ත්‍රස්තවාදී තර්ජන ඇගයීම, දේශසීමා කළමනාකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සහ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරකිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී කටයුතු සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ඉන්දිකා විජයගුණවර්ධන මහත්මිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් (ආචාර්ය) නලින්ද නියංගොඩ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවලට එක්වූහ. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී රාමුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තීය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය එකඟතාව පළ කර ඇත.
