ආසියා පැසිෆික් කලාපීය මුදල් විශුද්ධිකරණය පිළිබඳ කණ්ඩායම (APG) විසින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් පවත්වනු ලබන තුන්වන අන්යෝන්ය ඇගයීම් සමුළුවේ සමාරම්භක අවස්ථාවට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක්වූවාය.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පෙන්වා දුන්නේ, රටක මූල්ය පද්ධතියක සැබෑ ශක්තිය රඳා පවතින්නේ හුදෙක් නීති රීති සහ ආයතන ස්ථාපිත කිරීම මත පමණක් නොව, ඒවායේ ක්රියාකාරීත්වය, වගවීම සහ අඛණ්ඩතාව මත බවයි.
දූෂණය සහ රාජ්ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වීම ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට විශාල අභියෝගයක් බව අගමැතිනිය පැවසුවාය. විනිවිදභාවයෙන් සහ ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණයකින් යුතුව මෙම අභියෝග ජය ගැනීම අත්යවශ්ය බව ඇය අවධාරණය කළාය.
මෙම ඇගයීම් ක්රියාවලිය හරහා මූල්ය අපරාධ මැඩලීම සඳහා ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය ජාත්යන්තරය හමුවේ පෙන්වා දීමටත්, වැඩිදියුණු කළ යුතු ක්ෂේත්ර හඳුනා ගැනීමටත් හැකි වන බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
රජය මෙම ඇගයීම් කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව මූල්ය පද්ධතියේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් කැපවී සිටින බව ඇය සහතික කළාය.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ මූල්ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
