බොලිවුඩ් සිනමාවේ අසහාය නළු අමිතාබ් බච්චන් වසර ගණනාවක සිට සිය මුම්බායිහි පිහිටි ‘ජල්සා’ නිවස ඉදිරිපිටදී රසිකයින් හමුවීමේ සම්ප්රදායක් පවත්වාගෙන යයි. කෙසේ වෙතත්, මෑතකදී ඇතිවූ ආරක්ෂක තර්ජන හේතුවෙන් ඔහු මෙවර රසිකයින් හමුවීමට එක්වූයේ විශේෂයෙන් සකස් කළ විනිවිද පෙනෙන ආරක්ෂිත වීදුරු කුටියක් තුළ සිටය.
පසුගිය නොවැම්බර් 01 වැනි ඉරිදා දින සිය රසික පිරිස ආමන්ත්රණය කිරීමේදී ඔහු මෙම ආරක්ෂිත පියවර අනුගමනය කර තිබුණි. මීට පෙර බොලිවුඩ් ක්ෂේත්රය ආශ්රිතව වාර්තා වූ විවිධ ආරක්ෂක ගැටලු සහ තර්ජන මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මුම්බායි නගරාධිපතිවරිය වෙත ලැබුණු තර්ජනාත්මක විද්යුත් තැපෑලකින් අමිතාබ් බච්චන්ගේ නිවස ඇතුළු ස්ථාන කිහිපයකට බෝම්බ ප්රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තිබුණි. එම සිදුවීම් මාලාවත් සමඟ බලධාරීන් විසින් ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මෙම වීදුරු ආවරණය නිශ්චිතවම එම තර්ජන හේතුවෙන් පමණක් සවි කළ බවට නිල තහවුරු කිරීමක් සිදුකර නොමැති වුවද, පවතින තත්ත්වය හමුවේ අමිතාබ් බච්චන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙය සැලකේ.
