කඩවත, මහකඩේ හන්දිය අසලදී පොලිස් රථවාහන සෝදිසි කිරීමේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් නවත්වන ලෙස අණ කළ ත්‍රිරෝද රථයක් එය නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇත. මෙම සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 16 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථය කිලෝමීටරයක පමණ දුරක් ගමන් කර ඇති අතර, එහි රියැදුරු ලෙස කටයුතු කළ 17 හැවිරිදි තරුණයා පොලිස් භාරයට ගෙන ඇත. ඔහු සතුව වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. රියැදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට වාහනයක් පැදවීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව ස්වාධීන විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි. වැරදි සිදුකරන නිලධාරීන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත කීර්තිනාමයට හානි වන අයුරින් කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ප්‍රකාශ කළේ, අණට කීකරුව ත්‍රිරෝද රථය නතර කළේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බවයි. කෙසේ වෙතත්, සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවාගේ මව පවසන්නේ ටයර්වලට වෙඩි තබා වාහනය නතර කර ගැනීමට හැකියාව තිබියදී මෙවැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම අනුමත කළ නොහැකි බවයි. ඇය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළාය.
පොලිසිය විසින් වෙඩි ප්‍රහාර 07ක් එල්ල කළ බවට වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ වෙඩි ප්‍රහාර සංඛ්‍යාව සම්බන්ධයෙන් පවතින ප්‍රකාශයන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී තහවුරු කරගත හැකි බවයි.
