විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සිය විශ්‍රාම දිවියෙන් පසු ගෞරවනීය සහ ස්ථාවර ආදායමක් සහිත රැකියා අවස්ථා උදාකර දීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව මූලික කරුණු සාකච්ඡා විය.

මෙම වැඩසටහන හරහා විශ්‍රාමිකයින්ට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම තාක්ෂණික නොවන ක්ෂේත්‍රවල සේවය කළ හමුදා සාමාජිකයින්ට ද නවීන වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව සැලසෙනු ඇත. NVQ මට්ටම 4 සහතිකය සාමාන්‍ය පෙළ විභාගයට සමාන අධ්‍යාපනික සුදුසුකමක් ලෙස පිළිගැනීම මෙහි ඇති වැදගත්කමකි.

විදුලි වාහන තාක්ෂණය, හෝටල් කළමනාකරණය, රොබෝ තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ සත්කාරක සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ත්‍රිවිධ හමුදාව සතු දැනට පවතින පුහුණු මධ්‍යස්ථාන සහ වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) දිස්ත්‍රික් මධ්‍යස්ථාන ජාලය ඒකාබද්ධ කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

එමෙන්ම, හමුදා සේවය තුළදී ලබාගත් ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් සඳහා වෘත්තීය සහතික ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. පෞද්ගලික ආරක්ෂක අංශවල සේවය කරන විශ්‍රාමිකයින්ගේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ද පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version