පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලබන නොවැම්බර් 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
මෙම නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නියෝගය ලබා ගත්තේය.
චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී මෙම අල්ලස් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව සමාගම් තුනකට බලපත්‍ර ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
