කොළඹ නගරයේ හදිසි ගංවතුර තත්ත්වයන් සහ ආපදා කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
පසුගිය දිනවල කොළඹට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. පැයකට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වීම මෙම ගංවතුරට ප්‍රධාන හේතුව බවත්, දැනට පවතින ජල අපවහන පද්ධතිවලට දරාගත හැක්කේ පැයකට මිලිමීටර් 30ක වර්ෂාපතනයක් පමණක් බවත් කොළඹ මහනගර සභා නිලධාරීන් පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ. විශේෂයෙන්ම ජල මාර්ග අවහිර වන පරිදි සිදුකරන අපද්‍රව්‍ය බැහැර කිරීම් සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් බලධාරීන් තීරණය කර ඇත.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් අවතැන් වන පිරිස් සඳහා සුදුසු විකල්ප ස්ථාන ලබා දීමටද මෙහිදී අවධානය යොමු විය. ජල මාර්ග පිරිසිදුව තබා ගැනීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා කොළඹ නගරාධිපතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අදාළ ආයතනවල නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
AI illustration; not a photograph of the reported event.
