අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් පිරිසක් සමඟ ධවල මන්දිරයේදී දීපවාලි උත්සවය සමරා ඇත. පසුගිය සිකුරාදා (06) ඕවල් කාර්යාලයේදී පැවති මෙම උත්සවය සඳහා අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට අමෙරිකාවේ ඉන්දීය තානාපති විනය් මෝහන් ක්වාත්‍රා, සුප්‍රකට සූපවේදී විකාස් ඛන්නා, IBM ප්‍රධාන විධායක නිලධාරී අර්වින්ද් ක්‍රිෂ්ණා සහ FBI අධ්යක්ෂ කාශ් පටෙල් ඇතුළු පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ සමාජ ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය කොමසාරිස් අර්ජුන් මෝඩි ද මෙම සැමරුමට එක්ව සිටි බව වාර්තා වේ.
සැමරුම අතරතුර ව්‍යවසායක විශාල් ගොන්ඩාල් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ‘හනුමාන් චාලිසා’ ග්‍රන්ථයේ පිටපතක් තෑගි කර තිබේ. හනුමාන් දෙවියන් වෙනුවෙන් තුල්සිදාස් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය ධෛර්යය සහ ශක්තිය සංකේතවත් කරන ආගමික කෘතියක් ලෙස සැලකේ.
ධවල මන්දිරයේ දීපවාලි සැමරීමේ සම්ප්රදාය 2003 වසරේදී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමයේදී ආරම්භ විය. අනතුරුව 2009 වසරේදී ජනාධිපති බැරැක් ඔබාමා ධවල මන්දිරයේදී දීපයක් දල්වමින් මෙම උත්සවයට එක්වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්විය.
Photo: The White House (PDM). Found using Openverse; not endorsed or certified by Openverse.
