කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ‘ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26’ සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, මෙහිදී ඵලදායිතාව, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දැක්වූ ආයතන ඇගයීමට ලක් කෙරිණි.
2021 වසරින් පසුව නැවතත් ක්‍රියාත්මක වූ මෙම සම්මාන උළෙල, රජයේ ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධව සංවිධානය කිරීම විශේෂත්වයකි. රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා යන අංශ තුන ආවරණය වන පරිදි පැවැත්වූ මෙම තරගාවලිය මගින් ආයතනවල සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම දිරිගන්වනු ලබයි.
උත්සවයේදී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, දශක ගණනාවක් තිස්සේ අප සමාජය තුළ පැවති අකාර්යක්ෂමතාව පරදවා ඵලදායිතා සංස්කෘතියක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පවතින බවයි. සීමිත සම්පත් උපරිමයෙන් භාවිත කරමින් ජාතික ආර්ථිකයට දායක වීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකම එකසේ කැපවිය යුතු බව ඔහු අවධාරණය කළේය.
රටක තිරසර ආර්ථික වර්ධනයක් උදෙසා ඵලදායිතාව අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය, ඩිජිටල්කරණය සහ ආකල්පමය වෙනස්කම් අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය. මෙම සම්මාන උළෙල හුදෙක් තරගයක් පමණක් නොව සමස්ත ශ්‍රම බලකාය තුළ ඵලදායිතා සංස්කෘතියක් හඳුන්වා දීමේ උත්සාහයක් බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
