එංගලන්තයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් නව අධ්‍යාපන මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, පාසල් කාලය තුළ සිසුන්ට ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව, ඒවා සිය බෑග්වල හෝ සාක්කුවල තබා ගැනීම ද තහනම් කිරීමට නියමිතය.

මෙම නව නීතිය 2027 සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය පදනම පසුගිය ජුනි මාසයේ සිට සකස් කර තිබේ. දැනට ඇතැම් පාසල්වල ක්‍රියාත්මක වන දුරකථන භාවිතය සීමා කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවට, පාසල් පරිශ්‍රය තුළ දුරකථනවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.

අධ්‍යාපන ලේකම් ලුසී පවෙල් මහත්මිය පෙන්වා දෙන්නේ, පාසල යනු සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ මිත්‍රත්වය වර්ධනය කරගත යුතු ස්ථානයක් බවයි. දුරකථන තිර දෙස බලා කාලය ගත කිරීම සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ සමාජ සබඳතාවලට බාධාවක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ බලය ඒ ඒ පාසල් වෙත පවරා ඇති අතර, ඒ අනුව පාසල්වලට අගුළු දැමිය හැකි ලොකර් භාවිත කිරීම හෝ පාසල් ආරම්භයේදී දුරකථන භාර ගැනීම වැනි ක්‍රමවේද අනුගමනය කළ හැකිය. කෙසේ වෙතත්, මෙම නව නීති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින අමතර වියදම් සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිපාදන ලබාදිය යුතු බව පාසල් ප්‍රධානීන්ගේ වෘත්තීය සමිති රජයට පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version