සෑම වසරකම නොවැම්බර් 11 වන දින ලොව පුරා සමරනු ලබන පොපි මල් දිනය, යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සන්නද්ධ හමුදා රණවිරුවන් සිහිපත් කිරීමේ සංකේතයක් ලෙස සැලකේ. රතු පැහැති පොපි මල මෙම අනුස්මරණයේ ප්‍රධාන සංකේතය බවට පත්ව ඇත්තේ පළමු ලෝක යුද්ධ සමයේ ඇති වූ සිදුවීම් මාලාවක් හේතුවෙනි.

පළමු ලෝක යුද්ධයේදී බෙල්ජියමේ ප්ලෑන්ඩර්ස් යුද බිමේ සේවය කළ කැනඩා ජාතික වෛද්‍ය ලුතිතන් කර්නල් ජෝන් මැක්‍රේ, තම සගයෙකුගේ වියෝවෙන් පසු ලියූ “In Flanders Fields” නම් කාව්‍යය මෙම සංකේතය බිහිවීමට මූලික විය. යුද්ධයේ විනාශය මැද සොහොන් කොත් අතරින් පවා රතු පැහැති පොපි මල් පිපී තිබෙනු දුටු ඔහු, එය මියගිය රණවිරුවන්ගේ ගෞරවය වෙනුවෙන් යොදාගත හැකි බව ලොවට පෙන්වා දුන්නේය.

පසුව මොයිනා මයිකල් සහ ඇනා ගෙරීන් වැනි කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් මෙම සංකල්පය ලොව පුරා ව්‍යාප්ත විය. විශේෂයෙන්ම 1921 වසරේදී මහා බ්‍රිතාන්‍යය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නිල වශයෙන් මෙම අනුස්මරණ වැඩසටහන ආරම්භ කෙරිණි. අද වන විට මෙය හුදෙක් පළමු සහ දෙවන ලෝක යුද්ධවලට පමණක් සීමා නොවී, සාමය උදෙසා දිවි පිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කරන දිනයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේද 1944 වසරේ ලංකා සේවා මුක්ත භට සංගමය පිහිටුවීමෙන් අනතුරුව, නොවැම්බර් මාසයේදී රණවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. වාණිජමය වශයෙන් පොපි මල් වගා කළද, අනුස්මරණ උත්සව සඳහා භාවිතා කරන්නේ විශේෂයෙන් සකස් කරන ලද කෘතිම පොපි මල් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version