ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ කාර්මික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම මූල්‍ය ආධාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මධ්‍යම පෙරදිග පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් අවම කර ගැනීම සඳහා විශේෂයෙන් වෙන් කර ඇත. කලාපීය ගැටුම්වල බලපෑම නිසා කිසිදු පවුලක් දරිද්‍රතාවයට පත් නොවීමට වගබලා ගැනීම මෙහි අරමුණ බව ආසියානු සංවර්ධන බැංකුවේ තර්මකර්තෘ මණ්ඩල සභාපති මසාටෝ කාන්ඩා මහතා පෙන්වා දෙයි.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ වෙළඳ පද්ධති නවීකරණය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල තරගකාරීත්වය ඉහළ නැංවීම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සිදුකෙරේ. එමගින් අපනයන ක්ෂේත්රය ශක්තිමත් කරමින් අනාගතයේ ඇති විය හැකි ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
රට තුළ රැකියා උත්පාදනය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු අතර වේ. මෙම පියවර හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් ඔරොත්තු දෙන මට්ටමකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
