මුම්බායි නගරයේ බෑන්ඩ්ස්ටෑන්ඩ්, පාලි හිල් සහ වර්ලි වැනි ප්‍රමුඛ පෙළේ ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් තරු සහ ඉහළ ආදායම්ලාභීන් අතර දැඩි තරඟයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම අරාබි මුහුදට මුහුණලා ඇති දේපළ සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළ දත්තවලට අනුව, පාලි හිල් වැනි ප්‍රදේශවල වර්ග අඩියක මිල රුපියල් 67,000 සිට ලක්ෂ 1.42 දක්වා ඉහළ අගයක් ගනී. කාටර් පාර සහ බෑන්ඩ්ස්ටෑන්ඩ් වැනි වෙරළබඩ ප්‍රදේශවල අගය, අභ්‍යන්තර ප්‍රදේශවල දේපළවලට වඩා සියයට 50 සිට 75 දක්වා ඉහළ මට්ටමක පවතී. 2016 වසරේදී මෙම මිල පරතරය සියයට 30ක් ලෙස පැවති අතර, පසුගිය වසර කිහිපය තුළ එය විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇත.
දේපළ වෙළඳපොළ විශේෂඥයන් පෙන්වා දෙන්නේ අරාබි මුහුදට මුහුණලා ඇති සීමිත ඉඩම් ප්‍රමාණය සහ එම ප්‍රදේශවල පවතින කීර්තිමත් නාමය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බවයි. නවීන සුඛෝපභෝගී ගොඩනැගිලි ඉදිකළ හැකි වුවද, මුහුදු දර්ශනයක් සහිත ඉඩම් නැවත නිර්මාණය කළ නොහැකි වීම නිසා මෙවැනි දේපළවල වටිනාකම අඛණ්ඩව ඉහළ යමින් පවතී.
පෞද්ගලිකත්වය සහ හරිත පරිසරය නිසා පාලි හිල් ප්‍රදේශය තවමත් බොලිවුඩ් තරු අතර වඩාත් ජනප්‍රිය ලිපිනයක් ලෙස පවතී. කෙසේ වෙතත්, අරාබි මුහුදේ අලංකාර දර්ශනය සහ පහසු ප්‍රවේශය හේතුවෙන් බෑන්ඩ්ස්ටෑන්ඩ් සහ කාටර් පාර දේපළ සඳහා ද ඉහළ ආදායම්ලාභීන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති.
