ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට රජය ගෙන යන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගත් තීරණයට ජාතික ජන බලවේගයේ (ජාජබ) නායකත්ව මණ්ඩලය නියෝජනය කරන නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රසිද්ධියේ සහයෝගය පළ කර තිබේ.
නීතිඥ සංගමය විසින් මේ සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී සම්මත කරගත් ඒකමතික යෝජනාවට විජේනායක මහතා ද එක්ව සිටි අතර, නීතිඥ සංගමයේ සභාපතිවරයා සමඟ මාධ්‍ය හමුවකටද ඔහු සහභාගි විය. පක්ෂයේ ඉහළ පෙළේ තීරණයකට පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු මෙලෙස විවෘතව විරුද්ධ වීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.
අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂයේ විධායක සභාව නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව විජේනායක මහතා පවසා තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කැබිනට් මණ්ඩල තීරණයකට එරෙහිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ගත් මෙම තීරණය හේතුවෙන් ආණ්ඩුව තුළ සහ පක්ෂ අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂයේ පාර්ශ්ව මෙම යෝජිත සංශෝධනයට දැඩි විරෝධය පළ කරමින් සිටින අතර, එයින් අධිකරණ ක්‍රියාවලියට සහ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවිය හැකි බව අවධාරණය කරයි. රජය සහ නීතිඥ සංගමය අතර පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඉදිරියේදී කෙසේ විසඳේ දැයි දේශපාලන නිරීක්ෂකයෝ දැඩි අවධානයෙන් යුතුව බලා සිටිති.
