ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද (29) එම ස්ථානය වෙත පැමිණියේය.
ජපාන රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණ අනාවැකි පල කිරීමේ හැකියාව සහ ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා ඇතුළු නිලධාරීන් විසින් ආරක්ෂක ලේකම්වරයාව ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී. ව්‍යාපෘති ඉංජිනේරුවන් විසින් ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළහ.
පවතින සැලැස්මට අනුව, ලබන වසරේ ජනවාරි මාසයේදී රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ සමස්ත කටයුතු 2025 ජූලි මස අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිත බව නිලධාරීන් පවසයි.
ව්‍යාපෘතියේ මේ දක්වා සිදුකර ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වූ ආරක්ෂක ලේකම්වරයා, රටේ ආපදා කළමනාකරණ කටයුතු සහ කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
