ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ, 2027 වසර සඳහා වන පළාත් වාර්ෂික සංවර්ධන සැලසුම් සමාලෝචනය කිරීමේ වැඩසටහන දඹුල්ලේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන මගින් 2027 වසරේදී එක් පළාතක් සඳහා රුපියල් මිලියන 750ක් බැගින් පළාත් නවය සඳහා රුපියල් බිලියන 6.7ක ප්‍රාග්ධන මුදලක් වෙන් කිරීමට නියමිතය. අදාළ සැලසුම් නොවැම්බර් මස මැද භාගයට පෙර මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒ හරහා ජනවාරි මාසයේ සිට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම සමස්ත වැඩසටහන සඳහා ඩොලර් මිලියන 100ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9ක ප්‍රදානයක් අනුමත කර ඇත. මෙය ප්‍රතිඵල මත පදනම් වූ ණය ක්‍රමවේදයක් වන අතර, කලින් එකඟ වූ සෞඛ්‍ය දර්ශක සපුරාලීමෙන් පසු අදියරෙන් අදියර මුදල් ප්‍රතිපාදන නිදහස් කරනු ලැබේ.

මෙම අවස්ථාව සඳහා මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. පළාත් මට්ටමින් සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම මගින් විශ්ව සෞඛ්‍ය ආවරණය තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version