2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සම්බන්ධ රහස්‍ය බුද්ධි වාර්තා රැසක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙම ලේඛනවලට අනුව, 1998 වසරේ සිටම බින් ලාඩන් ලොව රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති අතර, එම ලැයිස්තුවට ඉන්දියාව, පකිස්තානය, ඊජිප්තුව, කුවේට්, සෞදි අරාබිය, යේමනය සහ උගන්ඩාව වැනි රටවල් අයත් වේ.
කෙසේ වෙතත්, ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට නියමිතව තිබූ නිශ්චිත ප්‍රහාරයක් හෝ ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කළ මෙහෙයුම් පිළිබඳ තොරතුරු මෙම ලේඛනවල සඳහන් නොවන බව බුද්ධි අංශ පවසයි. මෙම වාර්තා මගින් බින් ලාඩන්ගේ ත්‍රස්ත ජාලය උතුරු ඇමරිකාව, යුරෝපය සහ නැගෙනහිර ආසියාව දක්වා ව්‍යාප්තව තිබූ බවට අනතුරු අඟවා තිබිණි.
එම කාලවකවානුවේදී ඇමරිකානු ජනාධිපතිවරුන් වූ බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වෙත CIA විසින් බින් ලාඩන්ගේ තර්ජන පිළිබඳව අවස්ථා කිහිපයකදීම බුද්ධි වාර්තා මගින් දැනුම් දී තිබූ බවද අනාවරණය වේ.
මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම මගින් 9/11 ප්‍රහාරයට පෙර පැවති බුද්ධි තොරතුරු සහ ඇමරිකානු ඉතිහාසයේ සංවේදී සිදුවීම් පිළිබඳව වැඩි විනිවිදභාවයක් ලබා දීමට බලාපොරොත්තු වන බව CIA ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
