ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවකදී නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. මෙම මෙහෙයුම් සැප්තැම්බර් 01 වන දින සිට 11 වන දින දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරිණි.

අත්අඩංගුවට ගත් පිරිස අතර තහනම් ධීවර දැල්, වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 63 දෙනෙකු ද වේ. මීට අමතරව, කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී තහනම් දැල් 44ක් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය සමත් විය.

මෙම වැටලීම්වලදී නීති විරෝධි ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 26ක්, කැබ් රථයක් සහ ට්‍රැක්ටර් රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ උපකරණ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කොඩ්බේ, කින්නියා, මුතූර්, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය සහ පොතුවිල් යන ප්‍රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version