හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ යුරෝපා ජ්‍යෙෂ්ඨ දේශපාලන නියෝජිතයන් පිරිසක් ගමන් කළ දුම්රිය පිටත්ව ගොස් සුළු වේලාවකට පසු යුක්රේනයේ දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ යුක්රේන – පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යාහොඩින් දුම්රිය ස්ථානයේදීය. රුසියානු ඩ්‍රෝන යානයක් මගී දුම්රියක එන්ජිම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර තිබේ.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව යුක්රේන බලධාරීන් තහවුරු කරයි. කීව් නුවර පැවති යාල්ටා යුරෝපීය උපායමාර්ගික සමුළුවට සහභාගී වීමෙන් පසු මෙම දේශපාලන නියෝජිත පිරිස පෝලන්තය බලා ගමන් කරමින් සිට ඇත.
ආරක්ෂක හේතූන් මත එම රාජ්‍යතාන්ත්‍රික පිරිස ගමන් කළ දුම්රිය නියමිත වේලාවට පෙර දුම්රිය ස්ථානයෙන් පිටත් කර යවා තිබූ අතර, ප්‍රහාරයට ලක්වූ දුම්රිය ඔවුන් ඉලක්ක කර ගත් එකක් විය හැකි බවට සැක පළ වේ. රුසියාව විසින් යුක්රේනයේ දුම්රිය සහ හමුදා සැපයුම් යටිතල පහසුකම් නිරන්තරයෙන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරනු ලබයි.
