පවතින වියළි කාලගුණය නිසා යාල ජාතික වනෝද්‍යානයේ පළමු සහ දෙවන කලාප අද (14) සිට ඔක්තෝබර් 15 වනදා දක්වා තාවකාලිකව වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම කාලසීමාව තුළ සංචාරක වාහනවල ගමනාගමනය හේතුවෙන් වන සතුන්ට ආහාර සහ ජලය සොයා යාමේදී සිදුවන බාධා අවම කිරීම මෙම තීරණයේ අරමුණයි. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති දරුණු නියඟය නිසා වනෝද්‍යානයේ බොහෝ ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති අතර සතුන්ට දැඩි ආහාර සහ ජල හිඟයකට මුහුණ දීමට සිදුව ඇත.

වන සතුන්ගේ පිපාසය නිවාලීම සඳහා වනජීවී නිලධාරීන් මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, මාණික්‍ය ගඟේ ස්ථාන හතරක සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක මෝටර් යොදා ගනිමින් භූගත නල මාර්ග ඔස්සේ ජලය පොකුණු වෙත ලබා දීමට පියවර ගෙන ඇත.

එමෙන්ම, දිනකට ලීටර් දෙලක්ෂයක පමණ ජල ප්‍රමාණයක් බවුසර් මගින් ප්‍රවාහනය කර වනෝද්‍යානයේ ඇති ස්වාභාවික සහ කෘතිම ජල තටාක පිරවීමට නිලධාරීන් කටයුතු කරමින් සිටී. සතුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල පැවැත්ම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version