ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපවල ආපදා කළමනාකරණය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් ‘ජාතික සුනාමි සූදානම් මණ්ඩලයේ’ (National Tsunami Ready Board) මංගල රැස්වීම පසුගියදා කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර, යුනෙස්කෝ ආයතනයේ සුනාමි සූදානම් පිළිගැනීමේ වැඩසටහන (UNESCO-IOC Tsunami Ready Recognition Programme) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම මණ්ඩලය විසින් යාපනය දිස්ත්‍රික්කයේ මානල්කාඩු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වේනමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ආදර්ශ ව්‍යාපෘති ලෙස තෝරා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම (2023-2030) අනුව ක්‍රියාත්මක වන මෙම මණ්ඩලය සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජිතයන්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වූහ.
