උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 7,148ක වියදමින් නව රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අත්තිවාරම් දැමීම ලබන බදාදා (16) සිදුකෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර හිමිවී ඇත. අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයක් සඳහා රුපියල් මිලියන 3,545ක් වැය කර අට මහල් ගොඩනැගිල්ලක් ඉදිකෙරේ. මෙහි නවීන හෘද පරීක්ෂණාගාර සහ දැඩි සත්කාර ඒකක ඇතුළත් වේ.

එමෙන්ම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා රුපියල් මිලියන 2,403ක වියදමින් අට මහල් හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණයක් JICA ආධාර මත ඉදිවනු ඇත. මන්නාරම සහ මුලතිව් රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 600 බැගින් වෙන් කර ඇත.

මෙම ව්‍යාපෘති අවසන් වීමත් සමඟ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට කොළඹට නොපැමිණ තම ප්‍රදේශවලදීම හෘද රෝග සහ හදිසි ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව උදාවේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version