නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ.
මෙම කමිටුව පත් කර ඇත්තේ නැගෙනහිර පළාතේ සිදුවන නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීම, වෙරළ තීරයන් ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කරමින් පවතින ඉඩම් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණෙනි.
මෙහිදී කමිටුව විසින් මෙතෙක් සිදුකර ඇති ක්ෂේත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කරන ලදී. විශේෂයෙන්ම වෙරළ තීරයන්හි සිදුවන අනවසර ඉදිකිරීම් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් සිදු විය.
අදාළ ගැටලු පිළිබඳව මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මීට අමතරව, ආරුගම්බේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්ද විශේෂ අතුරු වාර්තාවක් කැඳවීමට තීරණය කෙරිණි.
මෙම කමිටු රැස්වීම සඳහා සභාපති සේනක පල්ලියගුරු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ වෙරළ සංරක්ෂණ, වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවල ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
