අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sri Lankan Spice Expo – 2026’ කුළුබඩු ප්‍රදර්ශනය පසුගියදා (16) මහනුවර සහස් උයනේදී සාර්ථකව පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම ප්‍රදර්ශනය මගින් කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවිකරණ ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමටත් අවස්ථාව උදා විය. මීට අමතරව, නව තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සාර්ථක ව්‍යාපාරික අත්දැකීම් බෙදා හදා ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.
උත්සවය අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ නියැලෙන ගොවීන් සහ ව්‍යවසායකයින් අනෙකුත් බෝග වගාකරුවන්ට සාපේක්ෂව ආර්ථික වශයෙන් ශක්තිමත් බවයි. ‘අපනයන කෘෂි මහිම’ වැඩසටහන හරහා එක් එක් ප්‍රදේශවලට අනන්‍ය වූ අපනයන බෝග හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව සෘජුවම විදේශ වෙළඳපොළ සමඟ ගනුදෙනු කළ හැකි ව්‍යවසායක පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළේය. විදේශ තානාපතිවරුන්ගේ සහාය ඇතිව නව වෙළඳ අවස්ථා උදා කරමින්, කුළුබඩු ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ආර්ථික තත්ත්වය තවදුරටත් නංවාලීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
