පැය 48ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. වෘත්තීය සමිති පියවර ගත්තද, තමන්ගේ සටන තවමත් අවසන් වී නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සඳහන් කරයි. ආණ්ඩුවට හිතවත් සමිති මෙම වර්ජනය අසාර්ථක බව පැවසුවද, එය ඉතා සාර්ථක වූ බව සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව පැවසෙන පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන්ම දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන මූල්‍ය වංචා පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත. මෙම සිදුවීම් සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 5ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version