පසුගිය දිනවල පැවති දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ වුවද, දුම්රිය සේවය උපරිම අයුරින් පවත්වාගෙන යාමට කැපවූ සියලුම නිලධාරීන් සහ සේවකයන්ගේ දායකත්වය අගය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
වර්ජනය ආරම්භ වූ පසුගිය 17 වන දින පමණක් දුම්රිය ගමන්වාර 187ක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකි විය. විශේෂයෙන්ම යාල් දේවි ඇතුළු උතුරු මාර්ගයේ ශීඝ්‍රගාමී දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සේවකයන් දැක්වූ සහයෝගය නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේය.
මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ මූල්‍ය අලාභය රුපියල් කෝටි 06කට ආසන්න බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම සහ පාර්සල් භාර නොගැනීම මෙම අලාභයට ප්‍රධාන හේතුව වී තිබේ.
වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන්වාර 189ක් පමණ ක්‍රියාත්මක වුවද, වර්ජන කාලසීමාව තුළ එම සංඛ්‍යාව 80ත් 90ත් අතර මට්ටමකට සීමා වූ බවයි.
