දශක තුනක යුද සමයේදී මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දී සිටින නොවිසඳුණු ගැටලු කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ සඳහා කඩිනම් පියවර ගෙන තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ඒ අනුව, 1977 සිට 2009 දක්වා කාලසීමාව තුළ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය හෝ ආබාධිත වූ හමුදා සාමාජිකයන් හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීම සඳහා අංක MOD/01/2026 දරන නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
මීට පෙර පැවති චක්‍රලේඛ මගින් ආවරණය නොවූ විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා මෙමගින් සහන හිමිවේ. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු වෛද්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් වූවන්, සේවයේ සිටියදී මියගිය සාමාජිකයන් සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ ප්‍රතිලාභ ලැබූවන් ඇතුළු පිරිසක් සඳහා මෙම සහන හිමි වනු ඇත.
එමෙන්ම, ක්‍රියාන්විත හේතු මත තුවාල ලබා විශ්‍රාම ගිය සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු සහ වැන්දඹු බිරින්දෑවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු සඳහා ද මෙමගින් විසඳුම් ලබාදීමට නියමිතය. රණවිරුවන්ගේ කැපවීම අගයමින් ඔවුන්ගේ පවුල්වල මානසික හා සමාජීය සුබසාධනය උදෙසා රජය ගත් මෙම පියවර මානුෂීය ක්‍රියාවක් ලෙස හඳුන්වා දිය හැකිය.
