ජාති, ආගම්, පළාත් හෝ දිස්ත්‍රික්ක වශයෙන් බෙදී නොසිට, ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනාම එක්ව රට ගොඩනැගීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ජාතික සමගිය ශක්තිමත් කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ජාතිය හෝ ආගම මත පදනම්ව ජනතාව බෙදීම වෙනුවට සත්ජාතිකත්වය මූලික කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ සමාන අවස්ථා තහවුරු කිරීම ජාතික සමගියේ පදනම විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවේදී උතුරු හා නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය. එසේම සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික සිවරාසා ආනෝජන් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීමේ වැදගත්කමද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා රවුෆ් හකීම්, වී. රාධාක්‍රිෂ්ණන්, මුජිබර් රහුමාන්, එම්. එස්. යු. ලෙබ්බේ, වෛද්‍ය ඊ. ශ්‍රීනාත්, කාදර් මස්තාන්, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, ඉම්රාන් මහරුෆ්, ජී. ශ්‍රීනේසන්, කේ. කෝඩීස්වරන් සහ නිසාන් කාරියප්පර් යන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.
