පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම් මාලාවකදී, ප්‍රමිතියෙන් තොර ළදරු කිරි බෝතල් සහ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කළ වෙළඳසැල් 144ක් වැටලීමට ලක් කර ඇත.

මෙම වැටලීම්වලදී අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවන නිෂ්පාදන 1,400ක් පමණ නඩු භාණ්ඩ ලෙස අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. පසුගිය සතියේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම තුළදී SLS 1616 ප්‍රමිතියට අදාළ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96ක් සහ SLS 1306 ප්‍රමිතියට අදාළ පොලිමර් ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48ක් සිදු කෙරිණි.

2025 ඔක්තෝබර් මස නිකුත් කළ අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධානයන්ට අනුව, මෙම භාණ්ඩ අලෙවියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වේ.

දේශීයව නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩ සඳහා ‘ප්‍රමිතියට අනුකූලයි’ යන ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අනිවාර්යයෙන්ම SLS සහතික ලාංඡනය සහිත විය යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version