ආපදාවකදී ජනතාවට සහන සැලසීම මෙන්ම යළි එවැනි ආපදා ඇති නොවන පරිදි අවශ්‍ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රජයක වගකීමක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

රත්මලාන කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර, බස්නාහිර පළාත් සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 1,104ක ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත.

නාගරික සංවර්ධනය යනු රජයේ ප්‍රධාන වගකීමක් බව පෙන්වා දුන් අගමැතිවරිය, කොළඹ දිස්ත්‍රික්කය තුළ එවැනි සංවර්ධන සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවද කියා සිටියාය. බේස්ලයින් මාර්ගයේ සංවර්ධන කටයුතු මෙන්ම කොළොන්නාව වැසි ජලය අපවහන ව්‍යාපෘතිය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ඇය පැවසුවාය.

විශේෂයෙන්ම මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය මුදල් භාවිත නොකර, දේශීය අරමුදල් මඟින් ප්‍රතිපාදන වෙන් කර තිබීම විශේෂත්වයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. රජයේ මූල්‍ය කළමනාකරණය සහ දේශීය ආදායම් වර්ධනය වීම හේතුවෙන් භාණ්ඩාගාරය ශක්තිමත් වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.

මෙම ව්‍යාපෘතිය වසරක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිත අතර, ඒ හරහා කඳවල ප්‍රදේශයේ ජනතාව දිගුකාලීනව මුහුණ දී සිටින වැසි ජලය එක්රැස්වීමේ ගැටලුවට ස්ථිර සහ විද්‍යාත්මක විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version