නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකායේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත. පසුගිය 29 වන දින හදිසියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, දත්ත පිටපත් කර ගැනීමේ කටයුතු පැය 24කට අධික කාලයක් පුරා සිදු කෙරිණි.
අධිකරණ නියෝගයක් මත සිදුකළ මෙම වැටලීම සඳහා වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකායේ නිලධාරීන්ට අමතරව කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ විශේෂඥයන්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් සහ ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික විශේෂඥයන් ද එක්ව සිටියහ.
මීට වසර කිහිපයකට පෙර සිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්රමිකතා සහ ව්යාජ ලෙස ලියාපදිංචි කරන ලද වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක කොටසක් ලෙස මෙම දත්ත ලබාගෙන ඇත. විශේෂයෙන්ම හිටපු දේශපාලනඥයන්, ව්යාපාරිකයන් සහ සුවිශේෂී පුද්ගලයන් සතු සුඛෝපභෝගී වාහන ලියාපදිංචිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි වාර්තා වේ.
පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් සහ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ. ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.
