ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වාදීමට යෝජනා කර ඇති නව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ නීතිමය ඇගයීමක් සිදු කර තිබේ.

මෙම නව කෙටුම්පත මඟින් ඇතැම් සාධනීය සංශෝධන හඳුන්වා දී තිබුණද, පැරණි පනතේ පැවති ගැටලු සහ අඩුපාඩු රැසක් තවදුරටත් අන්තර්ගත වී ඇති බව එම කාර්යාලය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි පුළුල් හා අපැහැදිලි ලෙස නිර්වචනය කිරීම, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තැබීම් සඳහා ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයක් නොමැති වීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ඔවුන් දැඩි අවධානය යොමු කර ඇත.

යෝජිත පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූල කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ප්‍රධාන නිර්දේශ නවයක් රජය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අතර ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම් පැහැදිලි කිරීම, සියලු අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තැබීම් අධිකරණ අධීක්ෂණයට යටත් කිරීම මෙන්ම වධහිංසා වැළැක්වීමේ විධිවිධාන ශක්තිමත් කිරීම ප්‍රධාන වේ.

එමෙන්ම, සෝදිසි කිරීම් සඳහා අධිකරණ වරෙන්තු ලබාගැනීම අනිවාර්ය කිරීම, සිවිල් පොලිසියේ ප්‍රමුඛත්වය තහවුරු කිරීම, ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණ පිහිටුවීම සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබාදෙන මුක්තිය සීමා කිරීම වැනි කරුණු ද එම නිර්දේශ අතර වෙයි.

පනත බලාත්මක කිරීමට පෙර ස්වාධීන ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ නීති විශාරදයන් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අර්ථවත් මහජන උපදේශන ක්‍රියාවලියක් පවත්වන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version