අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී සිදුවූ දරුණු පෞද්ගලික ජෙට් යානා අනතුරකින් තරුණ ගුවන් නියමුවරියක් ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ නතාලියා ගාඩෙල්හා ෆිල්ගෙයිරාස් නම් සහායක නියමුවරියකි.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ සිට බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ Learjet 60 වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් දකුණු ෆ්ලොරිඩාව ආසන්නයේදී මෙසේ අනතුරට ලක්ව ගිනිගෙන විනාශ වී ඇත. ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය සමඟ පැවැති සන්නිවේදනයේදී නතාලියා විසින් හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුම් දී ඇති බව පටිගත වී තිබේ.
යානයේ අයිස් තැන්පත් වීම හේතුවෙන් දැඩි කැළඹීමකට ලක්ව ඇති බවත්, අවසාන මොහොතේ “Mayday, Mayday” ලෙස උදව් ඉල්ලමින් යානය වේගයෙන් පහළට ඇද වැටෙන බවත් ඇය දන්වා ඇත. ගුවන් ගමන් දත්තවලට අනුව මිනිත්තුවක් ඇතුළත යානය අඩි 27,000ක පමණ උසකින් පහළට පතිත වී තිබේ.
පාසල් වියේදීම එනම් 2023 වසරේදී 17 හැවිරිදි වියේ පසුවද්දී පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබූ නතාලියා, වාණිජ ගුවන් නියමුවරියක ලෙස මාස නවයක පමණ කාලයක් සේවය කර තිබිණි. කෙසේ වෙතත්, අදාළ ගුවන් ගමනේ ප්‍රධාන නියමුවරිය ලෙස කටයුතු කිරීමට ඇයට අවශ්‍ය බලය නොතිබූ බව සඳහන් වේ.
මෙම අනතුරින් යානයේ ගමන් කළ ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිඳ, කුඩා දරුවන් දෙදෙනෙකු සහ පවුලේ සහායකයන් ඇතුළු තවත් පිරිසක් මියගොස් ඇත. අනතුරට හේතුව සහ වැඩිදුර විමර්ශන අමෙරිකානු බලධාරීන් විසින් සිදු කරනු ලබයි.
