ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘Vision’ අධ්‍යාපනික වැඩසටහනට කෑගලු බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් පසුගියදා එක් විය. පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙම වැඩසටහන යටතේ සිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය නැරඹීමට අවස්ථාව හිමි විය. රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

අනාගත නායකත්වයට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර සහ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෑගලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version