ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. රටේ ඉන්ධන අවශ්‍යතාවයට සරිලන සංචිත ප්‍රමාණවත් ලෙස පවතින බවත්, බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඇතැම් පෞද්ගලික ඉන්ධන සමාගම් තමන්ට සිදුවන පාඩු හේතුවෙන් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය අඩු කර ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. එවැනි සමාගම්වල ඉන්ධන පිරවුම්හල් පිහිටි ප්‍රදේශවල සුළු වශයෙන් ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එවැනි ස්ථාන 52ක් හඳුනාගෙන ඇත. අදාළ පෞද්ගලික සමාගම් සමඟ පැවති සාකච්ඡාවලදී, එම ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්ධන බෙදාහැරීමට ඔවුන් එකඟතාව පළ කර තිබේ.

පෞද්ගලික සමාගම්වල බෙදාහැරීමේ අඩුව පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමතර ඉන්ධන තොග බෙදාහැරීමට කටයුතු යොදා ඇති අතර, රට තුළ ඉන්ධන බෙදාහැරීමේ කිසිදු අර්බුදයක් නොමැති බවත් සභාපතිවරයා තහවුරු කර සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version