විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම් සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට සමාජයේ සියලු ස්ථරයන් වෙත මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වී ඇති බවත්, පාසල් දරුවන් පවා මෙම විනාශයට ගොදුරු වී සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 224ක් වටිනා මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් පවා මිලදී ගනිමින් රට තුළ “කළු රාජ්‍ය යන්ත්‍රණයක්” නිර්මාණය කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම අපරාධ ජාලය බිඳ දැමීමකින් තොරව දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදා කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මෙහෙයුම්වල කොටසක් ලෙස විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 67 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමටත්, තවත් 112 දෙනෙකුට රතු නිවේදන නිකුත් කිරීමටත් රජය පියවර ගෙන ඇත. එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් රුපියල් මිලියන 4,500ක දේපළ තහනම් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවේදී “රටම එකට” ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් දියත් කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version