බොලිවුඩ් සිනමාවේ ඉහළම බලාපොරොත්තු මධ්‍යයේ තිරගත කිරීම ආරම්භ කළ ‘රාමායණ’ (Ramayana) චිත්‍රපටය සිය ප්‍රදර්ශනයේ පළමු දිනයේදී සුවිශේෂී ආදායම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත. දීපවාලි උත්සවයට සමගාමීව නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටය, නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කර තිබේ.
වාර්තා වන දත්තවලට අනුව, චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 64.85ක ශුද්ධ ආදායමක් ලබාගෙන ඇත. ඉන්දියාව තුළ පැවති දර්ශන වාර 25,200ක් හරහා මෙම ආදායම වාර්තා වී ඇති අතර, එහිදී වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ හින්දි භාෂා දර්ශන වාරවලිනි.
විවිධ භාෂා ඔස්සේ ලැබුණු ආදායම් අතරට හින්දි භාෂාවෙන් කෝටි 47.50ක්, කන්නඩ භාෂාවෙන් කෝටි 7.25ක්, තෙළිඟු භාෂාවෙන් කෝටි 6.00ක්, දෙමළ භාෂාවෙන් කෝටි 2.60ක් සහ මලයාලම් භාෂාවෙන් කෝටි 1.50ක මුදලක් ඇතුළත් වේ.
ඒ අනුව ඉන්දියාව තුළ දළ ආදායම රුපියල් කෝටි 77.50ක් ලෙසත්, විදේශීය වෙළෙඳපොළෙන් ලැබුණු දළ ආදායම රුපියල් කෝටි 50ක් ලෙසත් සටහන් වී ඇත. මේ දෙකම සමඟ චිත්‍රපටයේ පළමු දිනයේ ලොව පුරා සමස්ත දළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 127.50ක් බව නිෂ්පාදකයෝ පවසති.
මෙම ආදායම රන්බීර් කපූර්ගේ මීට පෙර තිරගත වූ ‘ඇනිමල්’ මෙන්ම ශාරුක් ඛාන්ගේ ‘පතාන්’ චිත්‍රපටවල පළමු දින ආදායම් සීමාවන් ද අභිබවා යාමක් ලෙස සිනමා විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉන්දීය රුපියල් කෝටි 4,000ක පමණ දැවැන්ත පිරිවැයකින් නිර්මාණය වී ඇති මෙහි, රන්බීර් කපූර් රාම කුමරු ලෙසත්, සායි පල්ලවි සීතා ලෙසත්, යෂ් රාවණා ලෙසත් රංගනයෙන් දායක වෙති.
