ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පිහිටි රසායනාගාරය වෙත කීර්තිමත් ISO/IEC ජාත්‍යන්තර සහතිකය හිමිව තිබේ. ඊට අදාළ සහතිකය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා විසින් අදාළ සහතිකය අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී. අනතුරුව අමාත්‍යවරයා රසායනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර, එහි කටයුතු නිරීක්ෂණය කළේය.
මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ඩී. එස්. රාජකරුණා, කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර සහ පිරිපහදු කළමනාකරු කේ. ජී. එච්. කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙන ඛනිජ තෙල් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමෙහිලා මෙම රසායනාගාරය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. වසර පුරා පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙමඟින් පිරිපහදු මෙහෙයුම් සඳහා අවශ්‍ය විශ්ලේෂණාත්මක හා තත්ත්ව සහතික කිරීමේ සේවාවන් බාධාවකින් තොරව සපයනු ලබයි.
ඛනිජ තෙල් හා බලශක්ති ක්ෂේත්රයට අමතරව, මෙරට සහ විදේශීය පාර්ශ්වකරුවන්ගේ හයිඩ්‍රොකාබන් ආශ්රිත පරීක්ෂණ අවශ්‍යතා සපුරාලීමටද මෙමඟින් හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම ඛනිජ තෙල් ආශ්රිත පරීක්ෂණ පරාමිති 32ක් සඳහා මෙම ප්‍රතීතනය හිමිවීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම හරහා රසායනාගාරයේ තාක්ෂණික හැකියාවන් සහ තත්ත්ව පාලන පද්ධති තහවුරු වන අතර, ඉදිරියේදී සිය සේවා පරාසය සහ ප්‍රතීතන විෂය පථය තවදුරටත් පුළුල් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරයි.
