කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදි කෙරෙන ඔටිසම් සහ අනෙකුත් ස්නායු සංවර්ධන විවිධත්වයන් සහිත දරුවන් වෙනුවෙන් වූ ‘සත්පෙති’ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 363ක සමස්ත පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 252ක් ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වෙන් කර ඇත. දරුවන්ගේ අනන්‍ය සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම, කථන හා භාෂා චිකිත්සාව, සමාජානුකරණය සහ පවුල් කේන්ද්‍රීය සහය වැනි බහුවිධ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

උත්සව සභාව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය සඳහා ගතවන දින 546ක ඉදිකිරීම් කාලසීමාව අවম කර, ලබන වසරේ දෙසැම්බර් මස වන විට එය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කළ යුතු බවයි. මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් වන විට, ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම මෙන්ම කාර්ය මණ්ඩලය අනුමත කර පුහුණු කිරීමේ කටයුතුද එකවර නිම කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමු අයවැය මඟින් මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කිරීම මෙම කටයුත්තේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා සෑම දරුවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔටිසම් තත්ත්වය පවතින අතර, රිජ්වේ ආර්යා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයට පැමිණෙන දරුවන්ගෙන් 50%කට වැඩි පිරිසක් ස්නායු සංවර්ධන ගැටලු සහිත දරුවන් වීම නිසා මෙම මධ්‍යස්ථානයේ අවශ්‍යතාව දැඩිව පැවති බව ඇය පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවා යෝජකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මඟින් සිදු කරනු ලබන අතර, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ලෙස නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම කටයුතු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version