දේශගුණික විපර්යාස සම්බන්ධ ක්‍රියාමාර්ග සහ තිරසර සංවර්ධනයට අදාළ පර්යේෂණ මෙන්ම ධාරිතා සංවර්ධනය පුළුල් කිරීමේ අරමුණින් SLYCAN Trust ආයතනය සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය අතර නව අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත. මෙම ගිවිසුමට පසුගියදා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී නිල වශයෙන් අත්සන් තබා තිබේ.
ආයතන දෙක අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඒකාබද්ධ පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මෙන්ම දෙපාර්ශ්වයේ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මෙම හවුල්කාරිත්වයේ මූලික අපේක්ෂාව වී තිබේ. ඒ හරහා මෙරට අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්රයට නව මානයක් එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තිරසර ආහාර පද්ධති සහ ශාකමය ප්‍රෝටීන, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ දේශගුණික බලපෑම් නිසා සිදුවන හානි අවම කිරීමේ ක්‍රමවේද මෙම ගිවිසුම යටතේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත. අදාළ ක්ෂේත්රවල ප්‍රජා මූලික ප්රවේශයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය පර්යේෂණ ද මෙහිදී ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම තිරසර ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය යන අංශවල අධ්‍යාපනික පර්යේෂණ ප්‍රායෝගික භාවිතයන් සමඟ සම්බන්ධ කිරීමට විශ්වවිද්‍යාල සිසුන්ට, පර්යේෂකයන්ට සහ තරුණ ව්‍යවසායකයන්ට මෙයින් පුළුල් අවස්ථා උදා වනු ඇත. ආයතන දෙකෙහිම දැනට ක්‍රියාත්මක වැඩසටහන් හා ජාලයන් ඒ සඳහා උපයෝගී කර ගැනීමට නියමිතය.
මෙම අවස්ථාවට SLYCAN Trust ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර සතුරුසිංහ සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.එම්.බී. ජයතිලක යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේම උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
